Monday, July 23, 2012

අපේ රට

www.hetadina.blogspot.com/



අසිරිමත් කුරුලු ලෝකය


”කැඩුනු අත්තටු රංගනය” (^Broken Wing Act) කුරුලූ ලෝකයේ එක් හැසිරීමකි. ඒ මව් කිරිල්ලිය තම පැටවුන් හට අනතුරක් කරන්නට යන මිනිසකුගේ අවධානය  ඇය වෙත හරවාගෙන පැටවුන් ආරක්ෂා කර ගැනීම සඳහාය.  සමහර උකුස්සන් මිනිස් සමාජයේ සිදුවන පරිදිම සංවාසයට පෙර දෙදෙනා පාද පටලවාගෙන  පේ‍්‍රම රංගනයේ  යෙදෙන බව ඔබ අසා තිබේද? ඒවා සත්‍ය සිදුවීම්ය.
අසිරිමත් කුරුලූ ලෝකයෙන් බිඳක් අද දින ඔබ හමුවේ තැබීමට මම කල්පනා කළෙමි.
1968 වසරේ ඔක්තෝබර් මස හාපුරා කියා වනජීවින් සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට බැඳුණු මා පුහුණුව සඳහා මුලින්ම යැවුනේ විල්පත්තු ජාතික උද්‍යානයටය. එහිදී මාස දෙකක පුහුණුවක් ලබාදීමෙන් පසු වැඩිදුර පුහුණුව සඳහා යාල වනෝදයානයට යැවිනි. යාලට ගොස් මාස දෙකක පුහුණුවක් ලබාදීමෙන් පසු වැඩිදුර පුහුණුව සඳහා යාල වනෝද්‍යානයට යැවිනි. යාලට ගොස් මාස දෙකක ඇවෑමෙන් මගේ ප‍්‍රධානියා වූයේ යාල වනෝද්‍යානයේ වැඩ බලන උද්‍යාන භාරකරු හැටියට සිටි ජෙස්මන්ඞ් වයිට් මහතාය.
බරගර් ජාතිකයකුවන වයිට් මහතා රාජකාරි සඳහා වනෝද්‍යානය තුළට ගිය සෑම අවස්ථාවකම මාද රැගෙන යාම ඔහුගේ පුරුද්දක්ව පැවතින. එකල උද්‍යානය සතුව තිබුණේ එක් ජීප් රථයක් සහ ට‍්‍රැක්ටර් රථයක් පමණි.
දිනය 1969 අප‍්‍රියල් 23යි.  හිමිදිරි පාන්දර වයිට් මහතා මා අමතමින් ”විල්සන් සූදානම් වෙන්න උද්‍යානය තුළට යන්න. අපි අද යන්නේ මැණික් ගඟ මුහුදට වැටෙන තැන. ”පිළින්නාව” බලන්න.  පයින් යන්නත් තිබෙනවා. අද රාත‍්‍රි අපි ඉන්නෙ එතැන. උදේ හත හමාරට පිටත් වෙමු” යයි කීය. නවකයකු වූ මාගේ ප‍්‍රීතිය නිම් හිම් නැත.
”නමුනුකුල” කඳුවැටියෙන් ආරම්භ වන මැණික් නදිය කඳුකරයේදී ”දුන්හිඳ ඇල්ල” නිමවා සෙල්ල කතරගම පසුකරමින් කතරගම පුරවරයේදී කඳසුරිඳුගේ නෙත්සිත් පිනවා මුහුදු මට්ටමේ පිහිටා ඇති යාල වනෝද්‍යානය වෙතින් ගලා යන්නේ නාරිලතාවක් ආකාරයෙනි.
වනෝද්‍යානයේදී මැණික් ගඟ හරහා යාමට එකල පාලමක් තිබුණේ නැත. ජීප් රථයෙන් ගඟ අසලට පැමින අපි බිමට බැස්සෙමු. අනතුරුව රියැදුරු ඉතා සෙමින් රථය ගඟට බස්සවා වේගයෙන් ධාවනය කරමින් ජලය දෙබෑකරගෙන ඉදිරියට ගොස් ගෙඟ් අනෙක් ඉවුරට ගොඩ කළේය. මෙම ස්ථානය ”පරණ තොටුපොළයි”
අප පාගමනින් ගඟ හරහා ගොස් වනෝද්‍යානයේ II කොටසට පිවිස ජීප් රථය එසේ තිබියදී වයිට් මහතාත් අප සමග සිටි වනජීවි නියාමකවරුන් දෙදෙනාත් මමත් පයින්ම ඉදිරියට එනම් ”යාලවෙල” දෙසට ගියෙමු. වයිට් මහතා යන්නේ ඉදිරියෙන්ය. යාර පණහක දුරක්වත් යාමට අපට නොහැකිවිය. අට දෙනකුගෙන් සමන්විත අලි රංචුවක එක් ඇතින්නක් කෑගසමින් අපට පහරදීමට හඹා එන්නට වූවාය.
එකෙනෙහිම වයිට් මහතා බිමට පහත් වී ලී - මුගුරක් අතට ගෙන ඇතින්නියට  දමා ගැසුවේ ”ඔහෙ හිටපිය පරට්ටි...යයි කියමින් ශබ්දයෙන් කෑගසමින් ඇයට බැන වදිමිනි. එය  ඇතින්නියගේ ශරීරයේ නොවැදුනත් ඇය වහා නතරවූවාය. අනතුරුව අප දෙසට නෙත් යොමාගෙන පසුපසට ගොස් රංචුවට එකතුවී පලාගියේ පැරදුණු ආකාරයෙනි.
ජීප් රථයෙන් සැතැපුම් හතරක් මගගෙවා අපි පිළින්නාවට පැමිනියෙමු.    ”මෙතැන තමයි මැණික් ගඟ මුහුදට සම්බන්ධවන තැන” ඈත මුහුදේ ගල් පර්වතයක් මත පිහිටා ඇති ප‍්‍රදීපාගාරයක් දෙසට ඇඟිල්ල දිගුකරමින් අර තමයි මහා රාවණා කොටුව” ගේ‍්‍රට් බාසසස් රාත‍්‍රී කාලයේ නැව් වලට දිසාව දැනගැනීමට විදුලි එළිය නිකුත් කරන තැන” වයිට් මහතා මට කියා දෙයි.
සැඩ රළපහරට මුහුදු ජලය මැණික් ගඟ මෝය කට තුලට ගලා යයි. මොහොතකින් එම ජලය නැවතත් මුහුදට ගලා එයි. මුහුදු ලිහිනියෝ ගුවන සිසාරමින් සිටිති. ඈතින් අලිරංචුවක කුංච නාද ශබ්දය වරින් වර අපට ඇසේ. වේලාව උදේ 9 පමණය. මෙම මනස්කාන්ත දර්ශනය විස්තර කිරීමට මට වචන නැත.
මේ අතර අප සමග පැමිනි සේවකයින් දෙදෙනා සහ රියැදුරු තේපැන් සැදීමට ලිප ගිණි මොලවන ලද්දේ කාගේවත් උපදෙසකින් නොවේ.
පිළින්නාවට නුදුරින් ඇති කාඩියාවල නියං සමයේ කුරුල්ලන් ඇතුළු වන සතුන් පිපාසය සංසිඳුවා ගන්නා ජලාශයකි. අප ඒ අසලට යනවාත් සමගම ජලය මතුපිට පිහිනා  යමින් සිටි සේරුවෙක් (Whistiling Teal&) (තාරාවුන් විශේෂයකි) සහ ඇගේ පැටවුන් රංචුව ඈතට පිහිනා යන්නට වූහ. පැටවුන් දුටු මගේ කුතුහලය වැඩි වූයෙන් ජලය අසලටම කඩිනමින් ගියෙමි.
එවිට පැටවුන් සමග සිටි මව් කිරිල්ලිය අහසට පියඹා ගොස් මට පෙනෙන තෙක් මානයේදී මහපොළොවට පහත්වූයේ හදිසියේ ඇගේ අත්තටුවක බිඳී ඇති බවක්  විදහා දක්වමිනි. බිමට වැටුණු ඇය ඉක්බිතිව අත්තටුවත් නමාගෙන පියඹා යාමට නොහැකි සේ පැන පැන ඉවතට යන්නට වූයෙන් ඇය අල්ලාගැනීමට මම ඒ දෙසට දිවගියෙමි. එවිටම ඇය ඉතා හොඳින් ඉගිලී යන්නට වූවාය. ඇයගේ ”ව්‍යාජ” රංගනයට මම රැවටුනෙමි. ආපසු හැරුණු මට ජලාශයේ සේරු පැටවුන් නොමැති බව පෙනින. පියඹා යාමට තරම් නොහැකි එම පැටවුන් ජලාශයේම සැඟවුණු බව මට පසක් විය. මේ කුරුලූ ලෝකයේ හැසිරීමකි.
මෙතෙක් වේලා මා දෙස බලා සිටි වයිට් මහතා ”රැවටුනා නේද...?  ඕකට කියන්නේ ”කැඩුනු අත් තටු රංගනය” කියලයි. පැටවුන් අනතුරුවලින් ආරක්ෂා කරගන්න...කිරල්ලූ ඒ වගේම ”ප‍්‍රැටින්කෝල් ආදී කුරුලූ විශේෂ කීපයක් ඔය දේ කරනවා” මම සිතින් වයිට් මහතාට ස්තූතිවන්ත වීමි.
කොළඹ විශ්ව විද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ මහාචාර්ය සරත් කොටගම සහ අතුල විජේසිංහ මහතා විසින් රචිත ”සිරිලක කුරුල්ලෝ” නම් වූ අගනා ග‍්‍රන්ථයේ මෙසේ සඳහන් වෙයි. පෙර හෙළ දවස පටන්ම කුරුල්ලන් නැරඹීමෙන් මෙරැුටියන් ආශ්වාදයක් විඳගත් බව ලංකා ඉතිහාසයෙන් පෙනේ. අද ලොව පුරා ජනතාව අතර පතලවුණු විනෝදාංශයක් බවට කුරුල්ලන් නිරීක්‍ෂණය කිරීම පත්ව ඇත. ඒ ඔස්සේ සොබා දහමේ සුන්දර බව අත් විඳීමට සහ ඊට ගරු කිරීමට ජනතාව පෙළඹී ඇත. මේ අනුව අපේ දරුවන්ද එකී විනෝදාංශයට පෙළඹවීමෙන් ඔවුන්ගේ දැනුමද වැඩිවන බව මම විශ්වාස කරමි.

පක්‍ෂි විශේෂ (වර්ග)

ලොව පක්‍ෂි විශේෂ 20,000 පමණ ජීවත් වන අතර ශ්‍රී ලංකාව තුළදී විශේෂ 470ක් හඳුනාගෙන තිබේ. ඔවුන්ගෙන් විශේෂ 113 පමණ උතුරු අර්ධ ගෝලීය රටවල සිට අප රටට සංක‍්‍රමණ (Migrants)  වන්නන්ය. අපගේ ගෙවතුවලදී මැයි මාසයේදී පමණ දකින්නට ලැබෙන සුදුරෙදි හොරා (Paradise Flycatcher) එවැනි සංක‍්‍රමණික පක්‍ෂියෙකි.
ශ්‍රී ලංකාවට ආවේණික එනම් අප රටේ පමණක් ජිවත්වන (endemics) කුරුල්ලන් ගණන 23 හැටියට මීට වසර කීපයකට පෙර හඳුනාගත්තද මේ වන විට එම සංඛ්‍යාව 33 බව පක්‍ෂි විශේෂඥයෝ පවසති. යාල විල්පත්තු ජාතික උද්‍යානය තුළදී නිතර දැකිය හැකි ශ්‍රී ලංකා වලිකකුළා ( Jungle Fowl) අළු කෑදැත්තා අප රටේ පමණක් වෙසෙන පක්‍ෂිහු දෙදෙනෙකි.(අම්පාර ගල්ඔය ඇතුළු ජාතික වනෝදයානයේදී මට නිතර දකින්නට ලැබුණු 10 දෙනකුගේ නම් පහත සඳහන් කරමි.
 සිංහල නම
1.හබන් කුකුලා
2.මයිල ගොයා
3.පොම්පැඩෝ බටගොයා
4.බටඇටි කුකුලා
5.රන්නළල කොට්ටෝරුවා
6.රතු කටීවැහිලිහිණියා
7.පීත කන් - කොන්ඩයා
8.අරංගයා
9.ලංකා සැළලිහිණියා
10.කැහි බෙල්ලා

පක්‍ෂි සංක‍්‍රමණය (Bird Higtion)

ක‍්‍රිස්තුපූර්ව, 322 විසූ ග‍්‍රීක දාර්ශනික හා විද්‍යාඥයකු වූ ”ඇරිස්ටෝට්ල් විසින් කුරුල්ලන්ගේ සංක‍්‍රමණික හැසිරීම හඳුනාගනු ලැබ ඇත. ඒ ඇසින් දැක නොව තර්කානුකුලව විශ්ලේශනය කිරීමෙන්ය.
මෙය ඇසින් දැක තහවුරු කරගත්තේ වර්ෂ 1800 ගණන්වලදීය. යුරෝපීයයන් ලොව නිවර්තන කලාපවල එනම් බටහිර අප‍්‍රිකානු වෙරළ ඉන්දියාව, නැගෙනහිර ඉන්දීය දුපත් (east Indies) ආදී රටවල ගවේශණාත්මක සංචාරයන් ආරම්භ කිරීමත් සමග කරන ලද නිරීක්‍ෂණයක් වූයේ ශීත සෘතුවේදී යුරෝපයෙන් අතුරුදන්වන පක්ෂීන් උණුසුම සහිත නිවර්තන කලාපීය රටවලදී හමුවන බවයි. තවද යුරෝපයට ග‍්‍රීෂ්ම සෘතුව එළැඹෙත්ම ඔවුන් තම මව්බිම කරා පියඹා යන බවත් නිරීක්‍ෂණය කරන ලදහ. ඒ බව ඔවුන් ලොවට ප‍්‍රකාශ කිරීමත් සමග සංක‍්‍රමණය පිළිබඳව තොරතුරු සොයා යන්නට විය.
ශ්‍රී ලංකාවට පැමිණෙන සංක‍්‍රමණික කුරුල්ලන් බිජුලා පැටවුන් ඇති දැඩි කරන ප‍්‍රදේශ උතුරු ඉන්දියාවට උතුරින් ලෝක ගෝලයේ උතුරු දිසාවේ පැතිර ඇත්තේය. ශීතාධික එම ප‍්‍රදේශවලට කුරුල්ලන් බිජුලන කාලය එහි ශ‍්‍රිෂ්ම සෘතුවයි (Summer) ශීත සෘතුව එළැඹෙත්ම එම ශිතලෙන් ගැලවීමට ඔවුහු එම පෙදෙස් හැරදමා දකුණේ සමක ප‍්‍රදේශ කරා සංක‍්‍රමණය වෙති. ඉතා අධික ශීත ආහාර හිඟවීම ඇතැම්  ප‍්‍රදේශවල දහවල් එනම් හිරු එළිය පවතින කාලය කෙටිවීම නිසා ඔවුහු මෙසේ සංක‍්‍රමණය වෙති.
ලොව මේ අන්දමින් සංක‍්‍රමණය වන පක්‍ෂින්ගෙන් වැඩිම දුරක් සංක‍්‍රමණය වන ”උත්තරධ‍්‍රැව ලිහිණියාගේ යාමේ සහ ඊමේ දුර කි.මී 34,000ට අධික බව සොයාගෙන තිබේ.
සංක‍්‍රමණය වන නව ප‍්‍රදේශ දේශගුණික වශයෙන් සුවදායක වන අතර ආහාරද බහුලව පවතී. ශ්‍රී ලංකාවට සංක‍්‍රණිකයින් සැපත් වන කාලය  අගොස්තු අවසන සිට ඔක්තෝබර් මාසයයි.  ඊළඟ අවුරුද්දේ අප‍්‍රියල් මැයි මාසවලදී ඔවුහු ආපසු යති. එහෙත් ලංකාව තුළ බිජු ලෑමක් (Breeding)  කරන්නේ නැත. ලංකාව තුළ බිත්තර දමන කුරුල්ලන් වන්නේ අප රටෙන් පිටතට සංක‍්‍රමණය නොවන කුරුල්ලන්ය.
ශ්‍රී ලංකාවට පක්‍ෂීන් සංක‍්‍රමණය වීම ආපසු නික්ම යාම පියාසර මං තුනක් දිගේ සිදුවන බව අධ්‍යන වලින් තහවුරු වී තිබේ. ලොව උතුරු දෙසින් සහ වයඹ දෙසින් එනම් යුරෝපය, බටහිර සයිබීරියාව, බටහිර ආසියාව  කාශ්මීරය සහ හිමාලයට බටහිර ප‍්‍රදේශවලින් නික්ම එන පක්ෂීන් ඉන්දියාවේ බටහිර වෙරළ දිගේ පැමිණ දකුණු ඉන්දියාවේ දකුණු කෙළවරින් නික්ම ලංකාවේ මන්නාරම සිට කළුතර දක්වා වෙරළ තීරයෙන් රටතුළට ඇතුල්වන මාර්ගය නැගෙනහිර පියාසර මාර්ගය වෙයි.
ඉන්දියාවේ බටහිර වෙරළ දිගේ පවතින මාර්ගය බටහිර  පියසර මාර්ගය වෙයි. ඒ අනුව ලොව උතුරු දෙසින් සහ ඊසාන දෙසින් එනම් සයිබීරියාව, මොංගෝලියාව, නැගෙනහිර ආසියාව, ටිබෙටය සහ හිමාලයට නැගෙනහිර ප‍්‍රදේශවල සිට සංක‍්‍රමණය වන පක්‍ෂින්  ඉන්දියාවේ බටහිර වෙරළ දිගේ පැමිණ දකුණු ඉන්දියාවේ ”කැලිමියර් තුඩුව-  රාමේශ්වරම අතර ප‍්‍රදේශයෙන් නික්ම      ”පෝක්” සමුද්‍ර සන්ධිය හරහා ඔවුන් කිලිනොච්චි සහ මන්නාරම වෙරළ තීරයෙන් ලංකාව තුළට පිවිසෙයි.
මීට අමතරව අන්දමන් දුපත් පියසර මාර්ගය ගිණිකොන දිග ආසියාව සහ ඈත පෙරදිග සිට නික්ම එන පක්‍ෂීන් අන්දමන් දුපත් හරහා සංක‍්‍ර‍්‍රමණය වී මුලතිව් වෙරළ හරහා ලංකාවට පිවිසෙන බව විශ්වාස කෙරේ.

(යාල ජාතික වනෝද්‍යානයේ හිටපු භාරකරු සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ‍්‍රාමික නියෝජ්‍ය අධ්‍යක්ෂක)

එඞ්මන්ඞ් විල්සන්

1 comment:

ඔබේ අදහස අගය කරමි.නැවත පැමිණෙන්න..
**හෙටදින අඩවිය සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකින අතර මෙම වෙබ් අඩවියේ පලවන ඕනෑම ලිපියක් සඳහා මතිමතාන්තර ඉදිරිපත් කිරීමට ඔබට හැකිය.එයින් ගම්‍ය වන්නේ හෙටදින අඩවියේ අදහස නොවේ.මෙහි පළවන සියලු අදහස් හා උදහස් වල ප්‍රකාශන සම්බන්දයෙන් අප කිසිම අයුරකින් වග කීමක් දරනු නොලැබේ..ඔබ කිසිවිටෙකත් රාජ්‍ය හෝ පවුද්ගලික ආයතනයක නමක් සඳහන් කරමින් මෙහි කමෙන්ට් නොදැමිය යුතුය.කිසිම පුද්ගලයකුගේ චරිතයට හානි වන කමෙන්ට් දැමීම හා අනවශ්‍ය පරිදි spam කිරීමෙන් වලකින්න.එවැනි කමෙන්ට් වෙතොත් මාවෙත දන්වන්න.හෙටදින අඩවියේ අරමුණ සියලු දෙනා හට පරම සේවය සැලසීම වෙනුවෙනි.